වීදියක කොනක ඇති දෙව්මැදුරේ මහා දොරෙන් අතුලුව අවසන් බංකුවේ කොණක දෙදනිස් නමා අල්තාරයට ආචාර කල මා නලල පපුව යා කර දෙවුර යා කරන විට යමෙකු මගේ වම් උරට තට්ටුවක් දමයි. සුදු ලෝගුවකින් සැරසුණු දේවදූතයකු යැයි සිතා මා හිස ඔසවා බලන විට කළු ලොගුවක් පොරවා ගත්ත සාතන්.
මා එසැනින් සාතන්ව ප්‍රශ්න කරමින්
"සාතන්..... මේ දෙවියන්ගෙ ගෘහය, තමුන් මෙතන."
සාතන් පිළිතුරු නොදි පෙරළා මාව ප්‍රශ්න කරමින්...
"ඉතින් තමුන් මොකද මෙතන"
"නිකන්..එත් තමුන් මෙතෙන්ට ආවේ..."
මා සාතන්ගෙන් දිගු පිළිතුරක් බලාපොරොත්තු වුණත් ලැබුණේ ඉතාමත් කෙටි උත්තරයකි
"නිකන්..."
එය ප්‍රශ්නයක් ද , පිළිතුරක්ද සිතමින්, මා ප්‍රශනයක් ඇසිය යුතුද නැත්තම් මගේ පෙර පිළිතුර තවත් විස්තර කල යුතුද සිතා ගත නොහැකිව දිගු සුසුමක් දෙව් මැදුරේ වා තලයට මුදාහරිමින්.
"හ්ම්."
"මං බලන් උන්නේ, මොනවද බැලුවේ ඔච්චරම.... අර කුරුස ගහේ එල්ලිලා ඉන්න ගැලවුම් කර ක්‍රිස්තුස්වද, පාරිශුද්ද මරියාවද නැත්තම් මෙ ලිලි මල් එක්ක ඉන්න අන්තොනියෝවද... ?"
සාතන්ගේ ප්‍රශ්න කිරීම නිමාවක් නැත.
"නෑ. එක පරිච්ඡේදයක අමතක නොවන මතකයන් වල ශේෂවු නටබුන් වල වත්මන් ස්වභාවය...."
ඇත්තෙන්ම මා බොහෝ කලකට පසුව දෙව්මැදුරට ගොඩ වන්නට හේතු වූයේ ඒ කාරණයයි...
දෙව් මැදුර පුරා විහිදි යන මහා හිනාවකින්.
"හපොයි තමුසෙට ට්‍රැක්."
සාතන්ගේ ඒ හිනාව මට නුරුස්සයි...ඉහළ ස්වරයෙන්
"ඔව්, ටිකක් විතර... "
සාතන් පෙරසේම මා ප්‍රශ්න කරමින්
"සුන්දරයිද.... ඉතින් ඔය මතකයන්, නටබුන් බලන්න තකහනියක් මෙක අස්සට රිංගුවෙ.."
"මම හිතන්නේ.."
අතීතයේ සිදු වූ සියල්ල සුන්දර නොවුනාට,නැවත ඒ පිළිබඳ හැරී බලන විට ඒ සියල්ලම සුන්දර මතකයන් ය. එහි ශේෂ නටබුන් තව තවත් සුන්දර ය.
"හිතට එකගවද කියන්නේ,තමුන් මෙච්චර කල් හිතුවා ඇරෙන්න වෙන මොනවද කරෙ"
මාගේ කල් ක්‍රියාවන් මට වඩා හොඳට සාතන් දන්නවා ඇති, නමුත් මම මෙයට පිළිතුරක් දිය යුතු යැයි සිතන නිසා.
"මම මෙ ෆැන්ටසියෙන් ගැලවිලා රියලටියේ ඇවිද්දා.."
"8 වෙනි පනත කැඩුවා....මට නම් පේන්නේ තමුන් ඔය ඉන්නේ ම ෆැන්ටසියක. ඔය හිතන් ඉන්න රියලිටිය ෆැන්ටසියේම කෑල්ලක්.."
එදා පාළුකරයේ දී ගැලවුම්කාර දේව පුත්‍රයාව පරික්ෂා කළා මෙන්ම මාවත් මූ පරික්ෂා කරනවා මගේ හිත කියන අතරම ප්‍රශ්න කිරීමෙන් ගැලවීමට මා මගක් සොයන අතර මට පෙර මතක් වූ දේව දූතයා ද මේ...
මම සාතන් දෙසට හැරි,
" අන්න සාතන් පොඩි ස්වාමි මේ පැත්තට එනවා..
"අප්පෝ මට සුදු ලොගු කාරයොත් එක්ක ගනුදෙනුවක් නෑ...
මං යනවා ආයේ කොහේදි හරි මුණගැහෙමු..
කතා කරන්න දේවල් ගොඩාක් තව තියෙනවා" ... කියමින්
ක්ෂණිකයකින් දෙව් මැදුරෙන් එලියට සාතන් පිටව යයි...
මමත් අල්තාරය දෙස සුළු වෙලාවක් බලා හිඳ දෙව්මැදුරෙන් පිටතට පැමිණේ.....
~ අබේ.
0 Comments